blog-post

කලාපීය බලවතාගෙන් ගතයුතු සයිබර් අපරාධවලට එරෙහි නෛතික ආදර්ශය

ඉන්දියාව තුල තාක්‍ෂණයේ සංවර්ධනය හා ව්‍යාප්තිය හමුවේ පුද්ගලයින්ගේ ආරක්‍ෂාව අවධානම් තත්ත්වයට පත්වීමේ ප්‍රතිඵලයක් ලෙස අන්තර්ජාල අපරාධකරුවන් විසින් කාන්තාවන්ට එරෙහිව විවිධ අපරාධ කිරීමට සයිබර් අවකාශය යොදාගැනීමේ ප්‍රවනතාවය දිනෙන් දින ඉහල යමින් පැවතිනි. අන්තර්ජාලය හා පරිඝණක භාවිතයේ ප්‍රවනතා පිළිබඳව ඇමරිකානු වාර්ථාවකට අනුව සෞදි අරාබි ජාතිකයින් හැරුනුවිට ඉන්දීය ජාතිකයින් තම පුද්ගලික තොරතුරු අන්තර්ජාලය හරහා හුවමාරු කරගන්නා වැඩිම ප්‍රවනාතාවය ඇති රාජ්‍ය ලෙස හදුන්වාදීම තුල එහි බැරෑරුම් කම මනාව නිරුපනය විය.

ඒ අනුව ඉන්දියාව තුල සයිබර් අපරාධයන් වාර්තාවීම ඉහල මට්ටමක පැවති අතර ඊට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය දේශපාලනඥයින් සහ වගකිවයුතු නිලධාරීන් විසින් ඉන්දියානු තොරතුරු තාක්‍ෂණ අමාත්‍යංශය 1999 වර්ෂයේ දී පිහිටුවන ලද අතර එමගින් 2008 වර්ෂය වන විට තොරතුරු තාක්‍ෂණයේ බලවතකු වීමට පළමු පියවර තබන ලදි. ඒ අනුව ඉන්දියානුවන් විසින් ඇමරිකාව හා සිංගප්පූරුවේ නිතීන් පූර්වාදර්ශයට ගනිමින් සයිබර් අපරාධයන්ට එරෙහිව දඬුවම් පැමිණවීමට අවශ්‍ය නිතීමය පරීක්‍ෂණයන් සිදුකිරීමට අවශ්‍ය ආයතනයන් පිහිටුවීමට කටයුතු කරන ලදි. 2000 වර්ෂයේදී තොරතුරු තාක්‍ෂණ පනත බලගන්වමින් ඉන්දියාව ව්‍යවස්ථානුකූලව සයිබර් අපරාධයන්ට එරෙහි නීති සම්පාදනය කරන ලද පළමු රටවල් කිහිපය අතරට ගෙනඒමට කටයුතු කරන ලද අතර එමගින් ආවරණය නොවූ ගැටලු රාශියක් ඉතිරිව පැවතුනු අතර කාන්තාවන්ට එරෙහි අපරාධයන් සම්බන්ධව යුක්තිය ඉටුකිරීම සඳහා තවදුරටත් සංවර්ධනය වියයුතු මට්ටමක පැවතිනි. 2014 වර්ෂය වන තෙක්ම එරට ක්‍රියාත්මක කරන ලද නිතිරීතීන් හඳුනාගන්නා ලද සයිබර් අපරාධ ප්‍රමාණයත් මත පමණක් ක්‍රියාත්මක විය.

ඉන්දීය රජය විසින් පරිඝණක සමාජීයකරණය සන්නිවේදනය හා සයිබර් අපරාධයන් සම්බන්ධව එහි වූ අඩුපාඩු සම්පූර්ණ කරමින් 2014 වර්ෂයේදී නව නීතින් පනවන ලද අතර එමගින් අන්තර්ජාලය හරහා සිදුකරනු ලබන අපහාස කිරීම්, කාමුක දර්ශනයන් ප්‍රචාරය කිරීම්, අන්තර්ජාලය හරහා සිදුකරන ලුහුබැඳීම්, ලිංගික අඩත්තේට්ටම් කිරීම්, පලිගැනීමට සිදුකරන ක්‍රියා, වෛරය නිසා සිදුකරන ක්‍රියා, මොෆිං හා විද්‍යුත් ලිපි ස්පූෆිං වැනි ක්‍රියාවන්ට එරෙහිව එරට නීතිරීතීන් දැඩි කරන ලදී.

ඉන්දියාවතුල සයිබර් අවකාශයේ භාවිතයේ ඉහලයාමට සමාන්තරව කාන්තාවනට එරෙහිව සිදුවන සයිබර් අපරාධයන්හි වැඩිවීමක් සිදුවුවද 2014 වර්ෂයෙන් පසුව කාන්තාවන්ට හා දරුවන්ට එරෙහිව සිදුවන සයිබර් අපරාධයන්ට එරෙහිව හඬනගන වින්දිත කාන්තාවන් ප්‍රමාණය, සංවිධානයන් ප්‍රමාණය විශාල ලෙස වර්ධනය වීමත්, වින්දිත කාන්තාවන්ට සාධාරණයන් ඉටුවීමත්, අපරාධකරුවන්ට දඩුවම් හිමිවීමත් ඉහලයාම සිදුව ඇත්තේ සයිබර් අපරාධ සම්බන්ධයෙන් ඉන්දියාවේ නීති පද්ධතිය තුල ඇතිව තිබෙන ශක්තිමත්භාවය හේතුවෙනි.

කෙසේ වුවත් ශ්‍රී ලංකාවේ පාලකයන්, වගකිවයුතු නිලධාරීන් සහ සමස්ථ මහජනයා තවමත් මෙම විශය සම්බන්ධයෙන් දක්වන්නේ ඇල්මැරුණු ස්වභාවයකි. මන්ද ශ්‍රී ලංකාව තුල කාන්තාවන්ට එරෙහිව සයිබර් අවකාශය තුල සිදුවන අපරාධයන්ගෙන් 70% ක් පමණ ප්‍රමාණයක් වාර්ථා නොවීමත්, අපරාධකරුවන්ට දඬුවම් ලබාදීමට පවතින නීති පද්ධතිය ප්‍රමාණවත් නොවීමත් හේතුවෙන් වින්දිතයන්ට සාධාරණය ඉටුවීමේ අවස්ථාවන් ගිලිහීයාමත්, සයිබර් අපරාධයන්ට ගොදුරුවන කාන්තාවන් වෙනුවෙන් හඬනැගීම උදෙසා ආයතනයන් නොමැතිවීමත් හේතුවෙන් පවුල් ජීවිත වලකටයුතු අවුල්බාවයට පත්වීම්, සමාජයතුල අපවාදයට ලක්වීම්, ලිංගික අඩත්තේට්ටම් කිරීම් නිහඬවම විඳදරා ගැනීමට ශ්‍රී ලංකික කාන්තාවන් හුරුව සිටී. මේ හේතුවෙන් වර්තමානය වනවිට අපරට තුල සයිබර් අපරාධයන්ට එරෙහි නීතීන් ශක්තිමත්භාවයට පත්කරමින් ජාතියට ජීවය ලබාදෙන ඇයව සුරැකීම සඳහා පෙරට ආයුතු කාලය උදාවී ඇත. මන්ද ජාතියක් වශයෙන් නැගීසිටීම උදෙසා නීරෝගී මනසකින් යුක්ත මානව සම්පතක් රටකට සිටිය යුතුය. මෙවැනි අපරාධයන්ට ලක්වන කාන්තාවන්ගේ මානසික ආතතිය, ස්ත්‍රී සමාජභාවය මත ඇතිවන විවිධ ගැටලු වලට මුහුණදීමට සිදුවීම හේතුවෙන් මානසික නිරෝගීතාවය බිඳවැටීමත්, එමගින් දරුවන්ගේ අනාගතය කෙරෙහි සෘජු බලපෑම් ඇතිවීමත්, පවුල් සංස්ථාව තුල වසර 2500 ක කාලයක් තුල අප විසින් රැකගෙන ආ සභ්‍යත්වය සහ සංස්කෘතික උරුමයන් විනාශයට ලක්වීමත් රටක් වශයෙන් අපගේ අනාගතය තීරණය කිරීමේදී සෘණාත්මක බලපෑම් රාශියක් එල්ල කරනු ඇත.

භූගොලීය වශයෙන් විශාල භූමිභාගයක පැතිර පවතින, බහු සංස්කෘතික, ජාතීන් විශාල ප්‍රමාණයක් වාසය කරන, සමාජ විශමතාවය දැඩි, ලෝකය පිලිගන්නා විශාලතම ප්‍රජාතාන්ත්‍රික රාජ්‍ය වන ඉංදියාව තුල සිය ප්‍රජාතන්ත්‍රවාදී භාවය ආරක්‍ෂා කරමින් මෙවන් නීතිරීති පද්ධතියක් බිහිකර ගැනීම අතිශයින්ම අගය කලයුතු කාරණයකි. ශ්‍රී ලංකාව තුල මෙවැනි නීති පද්ධතියක් බිහි කිරීමට ඇති ප්‍රධානතම බාදකය වන්නේ විවිධ සංවිධාන හා ක්‍රියාකාරීන් එය “ප්‍රකාශණයේ නිදහස” යයි හදුන්වන ඊනියා වදන්පෙල පෙරටු කර ගනිමින් සමාජයට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා වැරදිකරුවන්ට සිදුකරනු ලබන අනුබල දීමයි. බොහෝ අවස්ථාවල එවැනි සංවිධාන වල පුද්ගලයින්ගේ කටවල් විවෘත වන්නේ විවිධ වු සංවිධාන වලින් ලැබෙන ඩොලර් නිසාවෙනි. ගැටලුව තමන්ගේ වන තුරු පිලිතුර ධාර්ශණික බව ඇතැම් විට මොවුන්ට නොවැටහෙනවා විය හැකිය. සයිබර් අපරාධකරුවන්ට එරෙහිව ක්‍රියාත්මක වීමට හා වින්දිතයින් වෙනුවෙන් සාධාරණය ඉෂ්ඨ කර ගැනීම සඳහා ශක්තිමත් නිතී පද්ධතියක අවශ්‍යතාවය අද වින විට රටේ සිදුවන දේවල් වලට සමගාමීව මොලයක් ඇති ඕනෑම අයෙකුට තේරුම් ගැනීමට විශේෂ අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍ය නැත. එම නිසා තවත් ප්‍රමාද විය යුතු නැත. ඒ සඳහා පුරවැසියන් ලෙස රජයට බලකිරීමටත්, වගකිවයුතු පාර්ශව දැනුවත් කිරීමටත් ජාති, කුල, ආගමික හා වාර්ගික භේදයන් මෙන්ම පක්‍ෂ පාට හේදයක් නොසලකා පෙරට ආ යුතු කාලය උදාවී ඇත.

volunteer

ශ්‍රී ලාංකීය කාන්තා හා ළමා පරපුර සයිබර් අපරාධවල ගොදුරු බවට පත්වීම වලකන පසුබිමක් නිර්මාණය සඳහා වගකිව යුත්තන්ට බලකරන පෙත්සම

පෙත්සම අත්සන් කරන්න