දූෂණයට ලක්වූ බව කියන 15 හැවිරිදි දැරියගේ දැන්වීම් පළ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින වෙබ් අඩවියක හිමිකරුවකු සහ එහි මුදල් කළමනාකරුවෙකුට ඇප ලබාදීම කොළඹ මහෙස්ත්රාත් අධිකරණය ප්රතික්ෂේප කළේය.
එම පැමිණිල්ල ඊයේ (19) කොළඹ අතිරේක මහෙස්ත්රාත් ලෝචනී අබේවික්රම මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එම සැකකරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විසින් තම සේවාදායකයින් ඇප මත මුදා හරින ලෙස ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ. එම ඉල්ලීමට විරෝධය පළකළ පොලිස් කාන්තා හා ළමා කාර්යාංශයේ නිලධාරීන් එම සැකකරුවන්ට අදාළ විමර්ශන කටයුතු අවසන් කර නොමැති බවත් ඔවුන්ට ඇප ලබා දුනහොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බවත් දන්වා සිටියේය.
එම සැකකරුවන්ට ඇප ලබා දීමෙන් මහජන කැළඹීමක් ඇතිවීමට ඉඩකඩ පවතින බව මෙහිදී පොලීසිය අධිකරණය හමුවේ සඳහන් කළේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්රාත්වරිය එම සැකකරුවන්ට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් ඔවුන් ඇප මත මුදා හැරීම තුළින් විමර්ශනවලට බාධාවක් සිදුවිය හැකි බැවින් ඇප ඉල්ලීම් ප්රතික්ෂේප කරන බව සඳහන් කළාය. ඒ අනුව අදාළ සැකකරුවන් දෙදෙනා ලබන 29 දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
මේ අතර අදාළ බාල වයස්කාර දැරිය අලෙවි කිරිම සඳහා ප්රවාහනය කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කළ ත්රීරෝද රථ රියදුරෙකු එම දැරිය විසින් ඊයේ (19) කොළඹ මහෙස්ත්රාත් අධිකරණය හමුවේ හඳුනාගත්තේය. එම සැකකරුට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් ඔවුන් ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් විරුද්ධ වන බව ළමා හා කාන්තා කාර්යාශය දැනුම් දුන්නේය.ඒ අනුව එම සැකකරුද ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහෙස්ත්රාත්වරිය නියෝග කළාය.
උපුටාගැනීම - 2021.07.20 Ada derana.lk
