blog-post

ZOOM අස්සේ අතවර රැල්ලක්... ගුරුවරියන්ට හා දරුවන්ට සූම්වලින් නිරුවත් ඡායාරූප... අන්තර්ජාල අපරාධ ගැන දිනකට පැමිණිලි 20ක්...

ඔයාලට තවම සූම් ගැන හරි අවබෝධයක් නෑ. ඒ නිසා මේ තාක්ෂණය ගැන හොඳට ඉගෙන ගන්න වෙනවා. වැඩිපුර ඬේටා කැපෙන්නෙ නැති පැකේජ් එකක් මම ඔයාලට අරන් දෙන්නම්. ඒ ගැන වැඩි විස්තර කියන්න මට ඔයාලගේ ප‍්‍රයිවට් ෆෝන් නම්බර් එක දෙන්න” ජංගම දුරකථන අලෙවි නියෝජිතයකු මාතර ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ පාසලක සිසුවියන්ගෙන් සූක්ෂම ලෙස ජංගම දුරකථන අංක ලබාගෙන තිබුණේ එලෙස පවසමිනි. සූම් තාක්ෂණය නුහුරු නිසා ඒ සම්බන්ධ වැඩිදුර ඉගෙන ගන්නා අතරම ධනාත්මක ආකල්ප වැඩිදියුණු කර ගත යුතු බවත් පවසා ඔහු නිතර නිතර විවිධ වීඩියෝපට හා ඡායාරූප සිසුවියන්ගේ වට්ස්ඇප්වලට හුවමාරු කර තිබේ.

මෙවැනි පුද්ගලයකුගෙන් උදව් ලැබීම පිළිබඳව සිසුවියන්ට කිසිම විටක සැකයක් නොසිතෙන්නට ඇත. ක‍්‍රමක‍්‍රමයෙන් සිසුවියන් හා කුළුපග වන ජංගම දුරකථන අලෙවි නියෝජිතයා පසුව මෙම සිසුවියන්ට කර ඇත්තේ අපූරු යෝජනාවකි.

”ඔයාලා නිදහසේ ඉන්න ෆොටෝ අරගෙන මට වට්ස්ඇප් කරන්නකෝ. මම ඔයාලට ඉගෙන ගන්න තවත් උදව් ක්‍රන්නම්. ෆ‍්‍රී පැකේජ් අරන් දෙන්නම්.” මාර්ගගත ක‍්‍රමය හා තාක්ෂණය පිළිබඳ මෙලෝ හසරක් නොදන්නා තරුණ ගැහැනු දරුවන්ගේ ජීවිත දඩමීමා කරගත් 28 වියැති මෙම පුද්ගලයා සම්බන්ධයෙන් අදාළ පාසලේ විදුහල්පතිවරයා කරන ලද පැමිණිල්ලකට අනුව මාතර ළමා හා කාන්තා කාර්යාංශයට මොහුව අත්අඩංගුවට ගත්ත ද ඒ වන විටත් ගැහැනු ළමුන් බොහෝ දෙනකුම නිරුවත් ඡායාරූප වට්ස්ඇප් හරහා මෙම පුද්ගලයාට ලබාදී අවසන්ය.

මේ පසුගිය දිනෙක අන්තර්ජාලය හා සමාජජාල අවභාවිත කිරීම සම්බන්ධව වාර්තා වූ එක් සිදුවීමක් පමණි. රැල්ලක් ලෙස අපචාර, දූෂණ වංචා පිළිබඳව සිදුවීම් වාර්තා වෙද්දී අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය එම සිදුවීම්වලට සෘජුව හා වක‍්‍රව සම්බන්ධ වී ඇති බව එවැනි සිදුවීම් දෙස විමසිල්ලෙන් බැලූ විට අවබෝධ වේ.

දිනෙන් දින වැඩි වන ළමා අපචාර, විවිධාකාරයේ අපයෝජන, හිංසන හා වංචාවන්වලට සමාජ මාධ්‍යයන්වල මැදිහත්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් අපත් සමඟ පැවසුවේ මෙවැනි කතාවකි.

”පසුගිය මාස දෙකට සමාජ මාධ්‍ය අවභාවිත කළ සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි 1578 අපට ලැබුණා. කොවිඞ් පැතිරීමත් එක්ක අන්තර්ජාලය හා සමාජ ජාල, වෙබ් අඩවි භාවිත කරන්නන් හා වාර ගණන සැලකිය යුතු ප‍්‍රමාණයකින් වැඩි වුණා. ඒත් එක්කම සමාජ මාධ්‍ය හරහා සිදුවන නීති විරෝධී සිදුවීම්, අපරාධ, අපචාර වැනි සිද්ධිවල පැමිණිලි ලැබීමත් වැඩි වුණා. මේ වන විටත් දිනකට විස්සක් තිහක් අතර ප‍්‍රමාණයක් එක් එක් වර්ගයේ අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙනවා.”

එම නිලධාරීන් පවසන ආකාරයට මාසයකට සමාජ මාධ්‍ය හා අන්තර්ජාලය හරහා සිදු කෙරෙන අපරාධ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ප‍්‍රමාණය පන්සියය ඉක්මවයි.

සමාජ මාධ්‍ය හා අන්තර්ජාලය තුළ සිදුවන මෙවැනි ක‍්‍රියාකාරකම් පිළිබඳව මේ වන විට සොයා බලා අවශ්‍ය නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය විසින් වුවද පසුගිය වසර කිහිපය තුළ එම කටයුතු සිදුකර තිබුණේ පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදයයි. එම ආයතනයේ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රවිඳු මීගස්මුල්ල මහතා මෙසේ අදහස් දැක්වීය.

”සාමාන්‍යයෙන් මේ වෙද්දි ඔන්ලයින් හරහා වන අපරාධ වැඩිවෙලා තියෙනවා. ෆේස්බුක් වට්ස්ඇප්, ඊමේල් හරහා සිදුවන වංචා දූෂණ ප‍්‍රමාණය ඉහළ ගිහින්. සමාජජාල හා අන්තර්ජාල අවභාවිතය සම්බන්ධයෙන් 2009 වසරේදී අපට වාර්තා වුණේ සිදුවීම් 96 ක් වගේ ප‍්‍රමාණයක්. එය 2010 දී 150 ක් දක්වා වැඩි වෙලා තියෙනවා. 2015 වෙද්දි පැමිණිලි 2904 ක් වාර්තා වුණා. පසුගිය වර්ෂයේ (2020) 3560 දක්වා පැමිණිලි වැඩි වුණා. මේ පැමිණිලි අතර ලිංගික දර්ශන හා ඡායාරූප හුවමාරු කිරීම, දත්ත හොරකම් කිරීම, අනවසරයෙන් සමාජ මාධ්‍ය ගිණුම්වලට ඇතුල් වීම වගේම අපහාස වගේ සිදුවීම් තියෙනවා. මේවා වැඩි වශයෙන්ම සිදු වෙලා තියෙන්නේ ෆේස්බුක්, වෙබ් අඩවි හා මැසෙන්ජර් හරහා.”

2009 සිට මේ වන විට අන්තර්ජාලය හා සමාජජාල අවභාවිතය පිළිබඳ ලැබෙන පැමිණිලි ප‍්‍රමාණය සීඝ‍්‍රයෙන් වැඩි වී ඇති බව ඒ මහතා ඉදිරිපත් කළ දත්ත පරීක්ෂා කිරීමේදී අවබෝධ වේ.

කොවිඞ් වසංගතයට මුවා වෙමින් බොහෝ වසංගත පතුරුවන මිනිසුන් අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය ගණිකා වෘත්තියේ යොදවා හමාරය. රටක සන්නිවේදන, සමාජයීය, ආර්ථික, ආගමික, දේශපාලන ආදී සෑම ක්ෂේත‍්‍රයකම සුබසිද්ධිය උදෙසා අන්තර්ජාල හා සමාජ මාධ්‍ය යොදාගත හැකිව තිබියදී ඒවා තමන්ගේ මෙන්ම අනෙකාගේත්, රටේත් විනාශය වෙනුවෙන් භාවිත කරන්නේ අනවබෝධය නිසා ද එසේත් නැතිනම් හිතාමතාම ද යන්න ප‍්‍රශ්නයකි.

සමාජජාල හා අන්තර්ජාල අවභාවිත කිරීම හරහා අපරාධ රැසක් මේ වන විට සිදුව ඇති බවත් මේ දිනවල ඒවා පිළිබඳ සොයා බලා නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ අශෝක ධර්මසේන මහතා අප සමඟ පැවසුවේය. සමාජ ජාල හා අන්තර්ජාල අවභාවිතය සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන ඒකකයට ලැබෙන ඇතැම් සිදුවීම් දරුණු අපරාධ තරමටම භයානක බව එම දෙපාර්තමේන්තුව පැවසූ තොරතුරුවලින් හෙළිවිය. යම් යම් ආයතනික හා නීතිමය ප‍්‍රතිපත්තීන් මත අදාළ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට සවිස්තරාත්මක මෙවැනි සිදුවීම් පිළිබඳව තොරතුරු ලබා දිය නොහැකි වුවත් මහජන සුබසිද්ධිය උදෙසා ඔවුන් ලබා දුන් කරුණුවල සාරාංශය මෙසේ සඳහන් කර සිටින්නෙමු.

උපුටාගැනීම - 2021.08.01 divaina

volunteer

ශ්‍රී ලාංකීය කාන්තා හා ළමා පරපුර සයිබර් අපරාධවල ගොදුරු බවට පත්වීම වලකන පසුබිමක් නිර්මාණය සඳහා වගකිව යුත්තන්ට බලකරන පෙත්සම

පෙත්සම අත්සන් කරන්න